ඉන්දියාවෙන් හොර බඩු අරන් ඇවිත් එකම පවුලේ සයදෙනෙක් රේගුවට කොටු

  👤  2574 readers have read this article !
By mawbima 2019-01-11

කටුනායක -

ගයා තිරිමාදුර

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස භාණ්ඩ තොගයක් මෙරටට ගෙන ආ එකම පවුලේ ශ්‍රී ලාංකේය ගුවන් මගීන් හයදෙනකු පෙරේදා (09දා) සවස කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි මව, පියා, පුතා ඔහුගේ බිරිය සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාද මෙම පිරිසට අයත්ව සිටිති.

ඔවුන් පෙරේදා සවස 6.00ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් ලක්ෂ දහයක් වටිනා ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ සුවඳ විලවුන් සහ ආලේපන තොගයක්ද, විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටුන් 25ක්ද, දුම් කුඩු කාටුන් 30ක් මෙන්ම විස්කි බෝතල් 30ක්ද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරිවරුන් වන ජී.එම්.බී. ගජනායක, රවි කුමාරන්, සහකාර රේගු අධිකාරිවරුන් වන ආර්.එම්.ඒ.එල්. රත්නායක සහ ඩී.එම්. ජී. ඩැනියෙල් යන මහත්වරුන් විසින් සිදු කර තිබිණි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ එස්.පී.අයි. බාලසූරිය මහතා විසින් සිදුකර තිබිණි.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්‍ෂණයක් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ජගත් ඔබේසේකර මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙම පිරිස රැගෙනවිත් තිබූ දුම්වැටි, දුම් කුඩු තොගයත් විස්කි බෝතල් 30ත් රාජසන්තක කළේය.

එමෙන්ම නීති විරෝධී ලෙස මෙරටට ගෙනැවිත් තිබූ සුවඳ විලවුන් සහ ආලේපන තොගය සඳහා නිසි බලපත්‍ර රැගෙන ඒමට අවස්ථාවක්ද මෙම ගුවන් මගී පිරිසට ලබාදී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon