මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඔක්කෝම පොලු කාරයෝ

  👤  2625 readers have read this article !
By mawbima 2019-01-11

බොරලන්ද - සමන් නැදුන්ගමුව

අපි නැවත වතාවක් මේ ආණ්ඩුවට කියනවා මේ අහිංසක අර්තාපල් ගොවීන්ට පොලු තියන්න එපා කියලා. සාමාන්‍යයෙන් කොහොමත් මේ මැති ඇමැතිවරු පොලු කාරයෝනේ. ඒ නිසා ඒ පුරුද්දට මේ මහ පොළොවත් එක්ක හැප්පෙන දාඩිය මුගුරුවලින් මහ පොළොව තෙත් කරන අහිංසක අර්තාපල් ගොවියාට පොලු නොතියා ඒ අයට ලැබෙන්නට තියෙන මුදල් වහාම ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී පැවැති අර්තාපල් ගොවි හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය කන්නයේ අර්තාපල් ගොවින්ගේ අස්වනු රජය මැදිහත්ව ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය මඟින් මිලදී ගත් අතර, එම මිලදී ගත් අර්තාපල් සඳහා ලැබිය යුතු මුදල්වලින් සියයට 40ක ප්‍රමාණයක් මෙතෙක් නොලැබීම සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම ගොවි හමුව සංවිධානය කර තිබිණි.

නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය,

මේ ගොවියෝ ඉල්ලන්නේ ආධාර නෙමෙයි. පිනට යමක් නෙමෙයි. මේ ඉල්ලන්නේ තමන්ගේ අර්තාපල් ටික රජය කියපු නිසා රජයට වික්කා. රජය මිලදී ගත්තා. මේ ගොවියෝ ගිහිල්ලා බලහත්කාරයෙන් දුන්නා නෙමෙයි. රජය තමයි ගත්තේ. ඒ නිසා ඒ ගොවියන්ගේ සල්ලි ටික දෙන්න කරුණාකරලා. රුපියල් 92ක ගාණේ අර්තාපල් කිලෝවකට ගෙවන්න ඕනි. අර්තාපල් රජය ගත්තෙත් තෝරලා. පොඩි ඒවා ගත්තේ නැහැ. ලොකු ඒවා විතරයි ගත්තේ. දැන් ඒ අනුව අර්තාපල් ගොවීන් බෝගහකුඹුර මධ්‍යස්ථානයට අර්තාපල් කිලෝ හාරලක්ෂ තිස්පන්දාස් දෙසීය හැත්තෑ හතරක් විකුණලා තියෙනවා.

නුගතලාව මධ්‍යස්ථානයට අර්තාපල් කිලෝ පන්ලක්ෂ හැත්තෑහතර දහස් හැට තුනක් විකුණලා තියෙනවා. මැදිවෙල මධ්‍යස්ථානයට අර්තාපල් කිලෝ හයලක්ෂ හැටතුන්දහස් හත්සිය විසි තුනක් විකුණලා තියෙනවා. අඹගස්දෝව මධ්‍යස්ථානයට අර්තාපල් කිලෝ තුන්ලක්ෂ හැටනවදහස් හාරසිය පනස් එකක් විකුණලා තියෙනවා. ඒ අනුව මේ ගොවි ජනතාව මේ උෟව පරණගම වැලිමඩ ගොවි ජනතාව අර්තාපල් කිලෝ විසි ලක්ෂ හතළිස් හතර දහස් පන්සිය එකොළහක ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඒ ප්‍රමාණයට රුපියල් 92ක ගාණේ රජය ගොවීන්ට මුදල් ගෙවන්න ඕනි. ගොවියා සටන් කරලා අරගල කරාට පස්සේ එම ලැබිය යුතු මුදලින් සියයට 60ක් 65ක ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. තාමත් ඉතිරි සියයට 40ක ප්‍රමාණය ගොවීන්ට ගෙවලා නැහැ.

රජය හිතන් ඉන්නවද දන්නේ නැහැ ගොවීන් රජයත් එක්ක හවුලට අල හැදුවා කියලා. දැන් මේ ගොවි අම්මා තාත්තා කන කර උකස් තියලා. ජීවත් වෙන්න විදිහක් නැහැ. ඊළඟ කන්නයේ වගාව පටන් ගන්න විදිහක් නැහැ. මේ වයසක අම්මලා තාත්තලාගේ ප්‍රෙෂර් වැඩි වෙලා. සීනි වැඩි වෙලා මේ ආතතිය නිසා.

අඩුම ගාණේ මේ මුදල් ලැබෙන දවසක් හරි කියනවා නම් ඒ ගැන හරි මේ අහිංසක ගොවින් හිත හදා ගනීවි. එහෙම දේකුත් නෑ. තමන් දුක් මහන්සියෙන් වගා කළ අස්වැන්නට ලැබිය යුතු මුදල නොලැබෙන බව දැනගත්තම මේ අහිංසක ගොවීන්ගේ මානසික ආතතිය වැඩි වෙලා ලෙඩ වෙනවා. ඇයි මේ ගොවියට මේ විදිහට කරන්නේ. අල හොන්ඩර් 16ක් ඕනි අක්කරයක වගා කරන්න. හොන්ඩර් එකකින් දැන් ගන්න පුළුවන් හොන්ඩර් 8ක අස්වැන්නක්. එතකොට ලොකු නිෂ්පාදන පිරිවැයක් දරන්න ඕනි. මේ අස්වැන්න ගන්නත්. අර්තාපල් කිලෝ එකක නිෂ්පාදන වියදම දළ වශයෙන් රුපියල් අනූ අටයි ශත හැත්තෑ පහක් වෙනවා. මේක දළ වශයෙන් කියලා කිව්වේ ඇත්ත වියදම බැලුවොත් 110ටත් වඩා වැඩි වියදමක් යනවා අර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කරන්න. දැන් තව සති දෙක තුනක් යනකොට කඳුවල හදලා තියෙන අර්තාපල්වල අස්වනු වෙළෙඳ පොළට එනවා.

අපිට ආරංචියි පිටරටවලින් ගෙනත් අර්තාපල් ගබඩා කරලා තියෙනවා කියලා. අපේ ගොවීන්ගෙන් අර්තාපල් අස්වනු වෙළෙඳපොළට එනකොට ඔය ගබඩා කරලා තියෙන අර්තාපල් වෙළෙඳපොළට ආවොත් මේ ගොවීන්ට ආයෙත් අර්තාපල් විකුණන්න වෙන්නේ තුට්ටු දෙකට. ඒ නිසා අපි රජයට කියනවා මේ ගොවියා ආරක්ෂා කර ගන්න ඒ අර්තාපල් අස්වනුවලට නිසි මිලක් ආරක්ෂා කරලා දෙන්න කියලා. මේ අර්තාපල් ගොවියා අසරණ වෙලා ඉන්නේ. අපි රිෂාඩ් බදුර්දින් ඇමැතිතුමාට කියන්නේ මේ ගොවියාගෙන් ගත්තු අර්තාපල්වල මුදල් වහාම නිසි පරිදි දෙන්න කියලා. එහෙම නැති වුණොත් අපි ගොවීන් සමඟ එකතු වෙලා දැවැන්ත අරගලයකට යනවා ගොවීන්ගේ මුදල් ලබා ගන්න. ඒ තත්ත්වයට අපිව පත් නොකර කරුණාකරලා මේ ගොවින්ගෙන් ගත්තු අර්තාපල්වල මුදල් ලබා දෙන්න. හරි නම් ඒ මුදල මෙච්චර කාලයක් තියා ගත්තට ගොවින්ට පොලිත් එක්ක දෙන්න ඕනි. මොකද ඒ වගා කන්නයේ වගා කළ අර්තාපල්වලට බැංකුවලින් ගත්තු ණය ගොවීන් තාමත් ගෙවනවා යැයිද කරුණාරත්න මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon