බුදුන් දවස ශ්‍රී ලංකාවේ විසූ විදු දැනුමැති දියුණු මානව කොටසක් ගැන තොරතුරු හෙළිවෙයි

  👤  2656 readers have read this article !
By mawbima 2019-01-11

අනුරාධපුර - වික්‍රම රළපනාව

බුදුන් වහන්සේ දඹදිව ජීවමානව සිටි කාලයේ ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ වීදුරු පබළු නිර්මාණය කිරීමේ රසායන විද්‍යාව පිළිබඳ දැනුම ඇති ඉතා දියුණු මානව කොට්ඨාසයක් විසූ බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණ අංශාධිපති පුරාවිද්‍යා මහාචාර්ය තුසිත මැන්දිස් මහතා හෙළි කරයි.

මධ්‍ය දැදුරු ඔය හා මී ඔය නිම්නයේ පැවැති ජනාවාස සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණ අංශය මඟින් දියත් කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණයෙන් හෙළි කරගන්නා ලද නව සොයාගැනීම් එළිදැක්වීම සඳහා රචිත පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම සඳහා එම විශ්වවිද්‍යාලයේදී සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් මහාචාර්යවරයා මේ අනාවරණය කළේය.

අදින් වසර 2500කට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 500දී නිෂ්පාදනය කළ පබළු විශේෂයන් ගල්ගමුව ප්‍රදේශයේ පර්යේෂණයට ලක්කළ මෙගලිතික යුගයේ සුසාන භූමියෙන්ද ක්‍රිස්තු පූර්ව 520දී නිර්මාණය කළ පබළු විශේෂයක් පොල්පිතිගම ප්‍රදේශයේ මෙගලිතික සුසාන භූමියෙන්ද-සොයාගෙන තිබේ. එම පබළු කාල නිර්ණය සඳහා ලෝකයේ පුරාවිද්‍යා කාල නිර්ණය සම්බන්ධව පිළිගත් ප්‍රමුඛ ආයතනය වන ඇමෙරිකාවේ බීටා ඇනලිටික් කාලනිර්ණ (Beta Analytic - Radiocarbon Dating)  ඵසමාගමට යොමු කර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අරමුදල මඟින් මුදල් ගෙවා කරන ලද පර්යේෂණයකට අනුව එම සමාගම අදාළ පබළු මෙකී කාලවලට අයත් බවට විශ්වවිද්‍යාලයට සහතික ලබාදී තිබේ.

මෙම පබළු නිර්මාණය කළ තාක්ෂණික අදියරයන්ද පුරාවිද්‍යා පර්යේෂණයෙන් හඳුනාගෙන ඇති බව මහාචාර්ය තුසිත මැන්දිස් එහිදී පෙන්වා දුන්නේය.

"බුද්ධ කාලය වනවිටත් ඉතා දියුණු මානව ජනාවාස අනුරාධපුර පර්යන්ත ප්‍රදේශවල පැවතුණා. මේ මානවයා වීදුරු පබළු නිර්මාණය කර තිබෙනවා. මේ නිර්මාණයන් කිරීමේදී නළ වශයෙන් වීදුරු තනා ඉහළ උෂ්ණත්වයේදීම ඒවා කැබලිවලට කපා ගැනීම කරන අතර මෙම අය නිෂ්පාදනය කළ එම වීදුරු නළද වැරැදීමෙන් සිසිල් වීමට පෙර කැබලි කපා ගැනීමට අසමත් වූ වීදුරු නළ කැබලිද අපට හමුවුණා.

වීදුරු උණු කළ උදුන්ද අපිට හඳුනාගන්න හැකි වුණා. මෙවැනි උදුන් විස්සකට වඩා හමු වී තිබෙනවා. ඒත් මෑතදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ඇළක් කපද්දී නොසැලකිල්ලෙන් එවැනි උදුනක් කඩා බිඳ දමා තිබෙනවා. මෙම ස්ථානයට ගුවන් සැතපුම්වලින් කිලෝ මීටර් දෙකක් නුදුරේ ඇති ගිරිබාව ප්‍රදේශයේදී ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේදී වීදුරු කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මෙම ජනතාවගේ සම්පත් පරිහරණය සම්බන්ධයෙන් අප කළ අධ්‍යයනයන්ට අනුව ලෝහ තාක්ෂණය ඉහළම ආකාරයෙන් භාවිත කළ බව හඳුනාගන්න පුළුවන්. යකඩ තල හා උල් සහිත ආයුධ කොටස් මේ සොයාගැනීම් අතර වෙනවා. පොල්පිතිගම පොලිසිය ඇත්තේ පෞරාණික සොහොන් බිමක් මත. ඒ තුළ වටිනා පුරාවස්තු වැළලී තිබෙනවා.

යනුවෙන් එහිදී විශේෂ දේශනාවක් කරමින් තුසිත මැන්දිස් මහතා පැවැසුවේය.

මෙතෙක් බොහෝ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදු කෙරුණේ අනුරාධපුර පූජා නගරය මුල්කරගෙන වුවත් අනුරාධපුර නගරයට පර්යන්තයේ පිහිටි ජනාවාසවල පුරාණයේ පැවැති තත්ත්වය පිළිබඳ තොරතුරු ගවේෂණය සඳහා රජරට විශ්වවිද්‍යාලය 2016දී විශේෂ වැඩසටහනක් ඇරැඹීය. ඒ අනුව කහටගස්දිගිලිය කොක්එබේ ප්‍රදේශයේ මෙගලිතික සුසාන භූමි මුල් කරගෙන යාන්ඔය නිම්නයේ අතීත ජනාවාස පිළිබඳවද 2017දී මී ඔය හා දැදුරු ඔය ආශ්‍රිත ජනාවාස පිළිබඳවද පුරාවිද්‍යා පර්යේෂණ ඇරැඹීය.

ඒ අනුව රචිත මධ්‍ය දැදුරු ඔය හා මී ඔය නිම්නයේ ජනාවාස පුරාවිද්‍යාව නම් පර්යේෂණ කෘතිය රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේදී පසුගියදා ‍ෙදාරට වඩිනු ලැබීය. කෘෂි විද්‍යාඥයකු වන ආචාර්ය පී.බී. ධර්මසේන මහතා එහිදී ආරාධිත දේශනය සිදු කළේය. රජරට විශ්වවිද්‍යාල සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි, ජේ‍යෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වෙල හා ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාල මහත්වරුද එහිදී සිය පර්යේෂණ පිළිබඳ දේශන පැවැත්වූහ.

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ රැසක අධ්‍යයන හා අනධ්‍යයන අංශ ප්‍රධානීන්, පුරාවිද්‍යා දෙපාර්මේන්තු නිලධාරීන්, ලේඛකයන්, සරසවි සිසුන් හා අන්දරවැව ප්‍රදේශයේ ජනතාවටද එම අවස්ථාවට එක් වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon