ක්‍රීඩාගාරයේ කොන්ක්‍රීට් කණුවක් හිස මතට වැටී සිසුවකු මරුට

  👤  2519 readers have read this article !
By mawbima 2019-01-11

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අලුතෙන් ඉදි කෙරෙමින් තිබූ ක්‍රීඩා මණ්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවකු ඊයේ (09දා) පස්වරුවේ මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.


මෙසේ මියගොස් ඇත්තේ ගල්කිරියාගම, බුදුගෙහින්න, වටගල පදිංචි එල්.කේ. පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක නමැති මෙවර අපොස සාපෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි ක්‍රීඩාවට දක්ෂ සිසුවෙකි.


පාසල් කාලයෙන් පසු පාසල් ක්‍රීඩාංගණයේදී සිසුන් අත්පන්දු සහ පාපන්දු ක්‍රීඩා පුහුණු වෙමින් සිටියදී ක්‍රීඩාංගණය ආසන්නයේ ඉදිකරමින් තිබූ ක්‍රීඩා මණ්ඩපය ආසන්නයේ අනතුරට පත් සිසුවා ගිමන් හරිමින් සිට ඇත. එම අවස්ථාවේ සිසුන් පිරිසක් ක්‍රීඩාංගණය ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් කණුවකට හේත්තු වීමත් සමඟ එය ගිමන් හරිමින් සිටි සිසුවාගේ හිස මතට කඩා වැටී ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.


බරපතළ තත්ත්වයෙන් තුවාල ලැබූ සිසුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. ඉන්පසුව පාසලේ සිසු සිසුවියන් සහ ප්‍රදේශවාසීහු ගලේවෙල ප්‍රාදේශීය රෝහලේදී නොසන්සුන්කාරී ආකාරයෙන් හැසිරෙන්නට වූහ.


මෙවර 01 වසර පන්ති සඳහා ළමයින් ඇතුළත් කිරීමේදී එම දරුවන්ගෙන් මුදල් අය කරමින් විදුහල්පතිවරයා විසින් මෙම විවේකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණු බවත් පෞද්ගලික ආයතනවලින් ගෙන්වා තිබූ කොන්ක්‍රීට් කණු කිසිදු සවි කිරීමකින් තොරව ඉතා අනාරක්ෂිත ආකාරයෙන් ඉදි කිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ක්‍රීඩාංගණයට එක් වූ මවුපියෝ චෝදනා කරන්නට වූහ.


පාසලේ දරුවෙක් මේ ආකාරයෙන් මිය ගොස් තිබුණද පස්වරු වෙන තෙක්ම විදුහල්පතිවරයා පාසලට හෝ රෝහලට නොපැමිණි බවද සිද්ධියෙන් කම්පාවට පත් මවුපියෝ චෝදනා කරන්නට වූහ.


එමෙන්ම එම ස්ථානයට රැස් වූ මවුපියෝ ක්‍රීඩා මණ්ඩපයේ සවිකර තිබූ අනෙක් කණු කීපයක් පෙරළා එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේ මෙම කොන්ක්‍රීට් කණු මහපොළවට හෝ එහි අඩිතාලමට කිසිදු සම්බන්ධතාවක් නොමැතිව ඉතා අනාරක්ෂිත ලෙස ඉදිකර තිබුණු ආකාරයයි.


ගල්කිරියාගම පොලිසියේ නිලධාරීහු පාසලට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර මවුපියෝද පාසලේ නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූහ.


කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා කියා සිටියේ මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමත් සමඟම සොයා බැලූ බවත්, මෙම පාසලේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පළාත් සභාවට හෝ රේඛීය අමාත්‍යාංශයෙන් සිදුවූවක් නොවන බවත්ය. විදුල්පතිවරයා සහ පාසල් සංවර්ධන සමිතිය මඟින් සිදුකරමින් තිබූ ඉදිකිරීමක් මේ ආකාරයෙන් අනාරක්ෂිත ලෙස පාසල් දරුවකුට ජීවිතක්ෂයට පත්වීමේ පුවත පිළිබඳව අමාත්‍යවරයාද දැඩි කම්පාවට පත් වූ බව හෙතෙම සඳහන් කළේය.


මෙම මරණය සහ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්, පාසල් සිසුන් හා සිද්ධිය ඇසින් දුටුවන් තොරතුරු පැවසුවද විද්‍යාලයේ කිසිදු වගකිවයුතු පුද්ගලයකු මේ සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.


බුදුගෙහින්න මහා විද්‍යාලයේ මවුපියෝ පැය හතරක පමණකාලයක් ඊයේ පෙරවරුවේ විද්‍යාලයේ විදුහල්පතිවරයා කාමරයක දමා සිර කර තැබූ බව ගල්කිරියාගම පොලිසිය කියයි.


මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කැකිරාව වැඩබලන මහෙස්ත්‍රාත්වයා හමුවේ පාසලේදී සිදුකිරීමට පෙර අධ්‍යාපන බලධාරීන් සහ මවුපියන් අතර විද්‍යාලයේ සාකච්ඡාවක්ද පැවැත්විණි.


එම අවස්ථාවේදී උරණ වූ මවුපියෝ විදුහල්පතිවරයා සහ පෙදරේරුවා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කරමින් කෑකෝ ගසන්නට වූහ. පසුව අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිවරයා වාහනයක දමාගෙන විද්‍යාලයෙන් පිටතට රැගෙන යෑමට උත්සාහ කිරීමත් සමඟ මවුපියෝ දැඩි ලෙස කලබලකාරී වී පසුව විද්‍යාලයේ ගේට්ටුව අවහිර කරමින් විදුහල්පතිවරයා රැගෙන යෑමට ඉඩ ලබා නොදීමට ඔවුහු ක්‍රියා කළහ.


ගල්කිරියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිස මඟහැරීමට උත්සාහ කළද සියලු උත්සාහයන් අසාර්ථක විය. පසුව නැවතත් විදුහල්පතිවරයා කාමරයකට දැමූ මවුපියෝ කාර්යාලය ඉදිරිපිට රැකවල්ලා කෑකෝ ගසමින් සිටින අතරතුර කැකිරාව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථාන පරීක්ෂාව සිදු කළේය.
මවුපියන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය එම තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා දැඩි උත්සාහයක නිරත වනු දක්නට ලැබිණී.


පසුව පොලිසිය ප්‍රදේශවාසීන් එක්ව සාකච්ඡා කොට විදුහල්පතිවරයා පොලිසියට රැගෙන යෑමට අවශ්‍ය බව සඳහන් කළ අවස්ථාවේ ප්‍රදේශවාසීන් කියා සිටියේ විදුහල්පතිවරයාගේ අත්දෙකට මාංචු දමා රැගෙන යෑමට අවශ්‍ය බවය. පසුව මාංචු දමා රැගෙන යන ලෙස ඉල්ලා ඔවුහු නැවතත් උද්ඝෝෂණය කරන්නට වූහ.


නැවතත් විදුහල්පතිවරයා රැගෙන යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය සමඟ සාකච්ඡා කොට ප්‍රදේශවාසීන් කියා සිටියේ වාහනයකින් නොව පාසල් භූමියේ සිට ප්‍රධාන මාර්ගය දක්වා පයින් රැගෙන යා යුතු බවයි. ඔවුන්ගේ ඉල්ලීමට පොලිසිය ක්‍රියා කරමින් විදුහල්පතිවරයා විද්‍යාලයේ සිට පාගමනින් ප්‍රධාන මාර්ගයට රැගෙන වාහනයක දමාගෙන පොලිසියට රැගෙන යනු දක්නට ලැබිණි.


අනතුරුව බුදුගේහින්න මහා විද්‍යාලයේ සිද්ධිය සොයා බැලීම සඳහා නව ආණ්ඩුකාර සරත් ඒකනායක මහා ඇතුළු කණ්ඩායමක් විදුහට පැමිණියහ. හෙතෙම සඳහන් කළේ ස්ථාන පරීක්ෂා කොට ඉතාමත් අනාරක්ෂිත ලෙස මෙම ඉදිකිරීම් කිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන බවය. ආණ්ඩුකාර කාර්යාලයෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පරීක්ෂණ දෙකක් පවත්වන බවත් විදුහල්පතිවරයා කර ඇති ඉදිකිරීම් පිළිබඳව වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළේය.
මෙදින පාසල් දිනයක් වුවද පාසලේ වැඩකටයුතු සියල්ල අකර්මණ්‍ය වී තිබිණි.


පාසලේ සිසු සිසුවියන් තැන තැන විසිරී හඬා වැටෙමින් සිටින ආකාරයත් ගුරුවරුන් සහ මවුපියන්ද තැන තැන හඬා වැටෙමින් සිටින ආකාරයත් එහි ගිය අපිට දැක ගැනීමට ලැබිණි.


බුදුගෙහින්න මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 11 දිනද සම්පූර්ණයෙන්ම නවතා නිවාඩු ලබා දෙන බව එහි නියෝජ්‍ය විදුහල්පතිවරයකු මවුපියන්ට සහ දරු දැරියන්ට දැනුම් දුන්නේය.


මියගිය සසිඳු කරුණාතිලක සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදී පැවැත්වූ දඹුල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා, පොලිසියට නියෝග කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවදානම් ආකාරයෙන් ඉදිකිරීම් කළ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon