බෝම්බ මල්ල දමා පැනගිය පුද්ගලයාත් ඔහු මෙහෙය වන පුද්ගලයාත් එල්ටීටීඊ සාමාජිකයන්

  👤  2211 readers have read this article !
By mawbima 2019-01-16

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

නව වසර උදා වූ දිනයේදීම වවුනියාවේ පුලියන්කුලම පුදූර් ප්‍රදේශයේදී බෝම්බ මල්ල දමා පැනගිය පුද්ගලයාත් ඔහුව මෙහෙයවන ලද පුද්ගලයාත් යන දෙදෙනාම නියත වශයෙන්ම එල්ටීටීඊ සාමාජිකයන් බවට ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ.

මේ දෙදෙනාගෙන් එක් අයකු රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ යටතේ පුනරුත්ථාපනය වී ඇතත් අනෙක් පුද්ගලයා එසේ පුනරුත්ථාපනය නොවූ අයෙකි.

සිද්ධියේ ඇති භයානකකම් කීපයකි. ඉන් ප්‍රධානම කාරණය වන්නේ මේ බෝම්බ මල්ල, පිස්තෝලය ඇතුළු යුද උපකරණ එක් අයකු විසින් රැගෙන යද්දී ඔහුව දුරකථනයක ආධාරයෙන් මෙහෙයවන්නට අයකු සිටියේ නම් ඔවුන් කිරීමට ගිය අපරාධය හෝ විනාශය කුමක්ද? යන්න මෙතෙක් කිසිවකුටත් හඳුනා ගැනීමට නොහැකි වීමයි.

ඊළඟ කාරණය වන්නේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාම මේ දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමයි. මේ දෙදෙනාගෙන් බෝම්බ මල්ල රැගෙන ගිය පුද්ගලයාට දුරකථන ඇමතුම් ලබා දෙමින් මෙහෙයවන ලද තැනැත්තා මේ වන විට ඉන්දියාවට පලාගොස් ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

ප්‍රධාන සැකකරු තවමත් උතුරු පළාතේම සිටින නමුත් ඔහු පෙනී සිටින්නේ නියම නමකින් නොවීම නිසා ඔහුව සොයා ගැනීම ආරක්ෂක අංශවලට විශාල ප්‍රශ්නයක් වී තිබේ.
ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ආකාරයට මේ සිද්ධිය හා සම්බන්ධ වූ 14 දෙනකු මේ වන විට හඳුනාගෙන තිබේ. ඉන් කාන්තාවක් හැරෙන්නට අනෙක් සියලුම දෙනාට එල්ල වී ඇති චෝදනා වන්නේ බෝම්බ මල්ලේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා සමඟ දුරකථන සංවාද පැවැත්වීමයි.

අත්අඩංගුවේ සිටින කාන්තාවගේ කතාව ඊට වඩා තරමක් වෙනස්ය.

මේ කාන්තාවගේ නම ප්‍රකාශ වී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා විසිනි. එයද දුරකථන සංවාදයක් සමඟ බැඳුණු කතාවකි.

නමුත් මේ කාන්තාවගේ නිවෙස පරීක්ෂා කිරීමේදී තවත් යුද උපකරණ කීපයක්ම හමුවී තිබේ.

ආරක්ෂක අංශ නිලධාරියකු කියා සිටියේ මුලින්ම අත්අඩංගුවට ගත් පුද්ගලයා විශ්වවිද්‍යාලයක සුළු සේවකයකු වශයෙන් කටයුතු කරන අයකු බවයි.

"මුලින්ම ලැබුණු තොරතුරක් මත ඒ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී කාන්තාවගේ දුරකථන අංකය ලැබුණා. ඒ ඔස්සේ කාන්තාව සොයා ගොස් ඇගේ නිවෙස පරීක්ෂා කළ අවස්ථාවේදී ඇගේ නිවෙසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් හා මෝටාර් බෝම්බ තුනක් හමුවුණා.

මේ මල්ල ගැන ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය කියා සිටියේ කෙනෙක් මේ මල්ල එම ස්ථානයේ තබා පසුව ගන්නම් කියා ගිය බවයි. තවමත් ඔහු නොපැමිණි බවද ඇය මේ ප්‍රශ්න කිරීම්වලදී කියා සිටියා.

ඇගේ නිවෙස පරීක්ෂා කළ අවස්ථාවේදී ජාතික හැඳුනුම්පත් ගණනාවක ඡායා පිටපත් හමු වුණා. මේ ගැන ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය කියා සිටියේ පළාතේ අය බැංකු ණය හා ක්ෂුද්‍ර ණය මුදල් ලබා ගැනීම සඳහා පැමිණෙන්නේ මේ ස්ථානයට බවයි. ඒක නිසා ඒ අයගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් තිබෙන බවද කියා සිටියා.

මේ තැනැත්තියගේ නිවෙසේ ගිනි අවියක් හා මෝටර් බෝම්බ තුනක් තිබුණු නිසා ඇයව රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි." ඔහු කීය

එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ අයකු වන ප්‍රධාන සැකකරුගේ සියලු වතගොතද ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

නමුත් ඔහුගේ නියම නම යටතේ ලේඛන ඇති නමුත් මොහු මේ වන විට පෙනී සිටින්නේ වෙනත් නමකිනි. ප්‍රධාන සැකකරු විසින් භාවිත කරනු ලබන ජාතික හැඳුනුම්පත පවා ව්‍යාජ එකක් වන අතර එම දුරකථන සිම්පත් ලබා ගැනීමට භාවිත කොට ඇත්තේ එම ව්‍යාජ හැඳුනුම්පතම බවද හෙළි වී තිබේ.

මෙහිදී පැන නඟින තවත් විශාල සැකයක් වෙයි.

ස්වයංක්‍රිය ගිනි අවියක් හා මෝටාර් බෝම්බ තුනක් සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවගේ නිවෙසේ ජාතික හැඳුනුම්පත් රැසක් තිබූ බව ආරක්ෂක අංශ පවසයි. ප්‍රධාන සැකකරු පෙනී සිටින්නේ ව්‍යාජ ජාතික හැඳුනුම්පතකින් බවද ඒ ආරක්ෂක අංශ විසින්ම සනාථ කරනු ලබයි.

එසේ නම් ඒ කාන්තාවගේ ව්‍යාපාරය හොරට ජාතික හැඳුනුම්පත් සකසන එකක් විය නොහැකිද? එසේත් නොමැති නම් ප්‍රධාන සැකකරු මේ කාන්තාවගේ නිවෙසේ යම් සබඳකමක් පවත්වා ඒ ස්ථානයෙන් ඔහු භාවිත කරන ව්‍යාජ ජාතික හැඳුනුම්පත සකස් කර ගත්තා විය නොහැකිද?

මේ සැකයන් නිසා කාන්තාව සැබෑ වශයෙන්ම ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් තබාගෙන සිටියේ බැංකු කටයුතු සඳහාමද යන්න නිශ්චය වශයෙන්ම සනාථ කරගැනීම සඳහා දීර්ඝ වශයෙන් පරීක්ෂණයක් ආරක්ෂක අංශ විසින් සිදුකළ යුතුව ඇත.

මුලතිව් ඔට්ටිසුඩාන් ප්‍රදේශයේදී ආයුධ තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී පුනරුත්ථාපනය වූ හා නොවූ සාමාජිකයෝ සිටියහ. ඉතාම කෙටියෙන් ප්‍රකාශ කළහොත් කොළඹ ගංගාරාමයේ තිබූ ගජමුතු සොරකම් කොට ඕමන්තේදී අලෙවි කිරීමට ගිය සිද්ධියේ සිටි දෙදෙනාම පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනකු බව අනාවරණය විණි.

මෙයින් අපට පෙනී යන්නේ මේ පුනරුත්ථාපනය වූ සාමාජික සාමාජිකාවෝ සමාජගත වූ පසුව ඔවුන් ගැන කිසිදු විපරමක් නොකරන බවකි.

වවුනියාවේ මේ සිද්ධි දාමයට සම්බන්ධ ප්‍රධානම සැකරුවන් දෙදෙනා ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වේ යැයි සිතීම දැන් තරමක් අසීරුය. ඊට හේතුව ඒ සඳහා ගත වූ කාලය වැඩි වීමය. ඉන්දියාවට පලාගිය පුද්ගලයා යළි කිසි දිනක අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි සිතිය නොහැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon