උතුර සංවර්ධන ඇමැති ධුරයේ වැඩ බලන්නේ දමිළ සන්ධානයයි

  👤  2631 readers have read this article !
By mawbima 2019-01-17

දඹර අමිල හිමි වැනි අය යොදාගෙන බෙදුම්වාදී ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි මහ නායක හිමිවරුන් ඇතුළු මහජනතාවට තර්ජනය කෙරෙමින් තිබෙනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (16දා) පිටකෝට්ටේදී පැවැති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී විමල් වීරවංශ මහතා මෙසේද පැවැසීය.

දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරු දෙදෙනා උතුරේදී පැවැති රැස්වීම්වලදී කරන ලද ප්‍රකාශ 2ක් බදාදා (16දා) 'මව්බිම' පුවත්පතෙහි මුල් පිටුවේ පළ කොට තිබෙනවා. "අපෙන් අහන්නෙ නැතිව කැබිනට් තීරණ ගන්න බැහැ. ආණ්ඩුවයි අපියි අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි. විශ්වාසභංග සමයේ ඇති වූ සාකච්ඡා අනුව රනිල් උතුර භාර ගත්තේ අපි එක්ක වැඩ කරන්න. දැනට උතුර වුණත් ඉදිරියේදී නම වෙනස් වෙයි" ආදී ප්‍රකාශ රැසක් ඔවුන් සිදුකර තිබෙනවා.

එජාපය හා දෙමළ සන්ධානය අතර තිබෙන යාන්ත්‍රණය අනුව දෙමළ සන්ධානය අකැමැති කිසිම යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න බැහැ කියලා ඒකෙන් පැහැදිලියි. ඒ වගේම දෙමළ සන්ධානයට අවශ්‍ය ඕනෑම යෝජනාවක් කැබිනට් මණ්ඩලය හරහා ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාවකුත් නිර්මාණය කොටගෙන තිබෙන බව මේ කියන ලද කරුණුවලින් පැහැදිලි වෙනවා.

උතුර සංවර්ධන විෂය එජාපයේ ඩී.එම්. ස්වාමිනාදන්ව නොගෙන තිබුණේ දෙමළ සන්ධානයේ කොන්දේසි අනුව වැඩකිරීමට නොහැකි නිසා බවට මීට පෙර අප කළ අනාවරණය සත්‍යයක් ලෙස එළියට ඇවිත් තිබෙනවා. අගමැති යටතට ගෙන තිබෙන උතුර සංවර්ධන අමාත්‍ය ධුරයේ සියලු මෙහෙයවීම් සිදුවන්නේ දෙමළ සන්ධානයේ අභිලාෂයන්ට අනුවයි. විරුද්ධ පක්ෂයේ වාඩිවෙලා හිටියට දෙමළ සන්ධානය ආණ්ඩුවේ විධායක බලතලවල හවුල්කාරයෙක් කියලත් මෙමඟින් පැහැදිලි වෙනවා.

ෆෙඩරල් ව්‍යවස්ථාවේ මුට්ටිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා රනිල් වික්‍රමසිංහ ළතෝනි දෙනවා. ඒක කෙටුම්පතක්වත් නෙවෙයි කියලා.

හැබැයි සුමන්තිරන් ඒක පනත් කෙටුම්පතක් කියල යාපනයේදී කියනවා. ෆෙඩරල් මුට්ටියට පහර නොදුන්නොත් ඊළඟට එන්නේ ෆෙඩරල් ‍ෙදාළපිදේනියයි.

සුමන්තිරන්ලා උතුරේ පොලිසිය නටවනවා. ඉඩම්, පොලිස් බලතල නීති හැදීමේ බලතල ආදී සියල්ල ඉල්ලන්නේ ඒවා වඩාත් හොඳින් කරගෙන යෑමටයි. ජාතිවාදී අන්තවාදී කල්ලිවලට ප්‍රාණවායුව ලබාදීමයි මේ පරගැති ආණ්ඩුව සිදු කරන්නේ.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ද විමල් වීරවංශ මහතා මෙසේ උත්තර දුන්නේය.

සරත් ෆොන්සේකා සහ පාලිත තෙවරප්පෙරුම අතර ගැටුම ගැන කුමක්ද හිතන්නෙ?

ඒ ගෝරියට මම ඇතුළු වෙන්න කැමැති නැහැ. සරත් ෆොන්සේකාගේ සියලු ඇඳුම් මේ වන විට පාලිත තෙවරප්පෙරුම විසින් ගලවා තිබෙනවා. අපට ගලවන්න මොකුත් ඉතුරු වෙලා නැහැ.

විපක්ෂයට උතුර නැඟෙනහිර ඡන්ද ගන්න ජාතිවාදීන් දෙදෙනකුගෙන් බාධා තිබෙන බවට චෝදනාවක් තිබෙනවා නේද?

අපි ජාතිකවාදීන්. ජාතික රාජ්‍යයේ ඓතිහාසික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිසක්. ජාතිවාදීන් වන්නේ බුදු පිළිම දැක්කම කේන්ති යනවා වගේ අදහස් දරන අය. අපට මෙසේ පල්ලි, කෝවිල් දැක්කම කේන්ති යන්නෙ නැහැ.

'නැත්ත වෙනුවට ඇත්ත' කෘතිය වෙනුවෙන් වන්දි ගෙවනවාද?

ජවිපෙන් එළියට ආවට පස්සේ ඒ එළියට බහින්න බලපාපු හේතු තමයි මේ කෘතියෙන් ඉදිරිපත් කළේ. සාක්ෂි සහිතව සනාථ කරගන්නයි එම ලේඛන ඇතුළු කළේ. එම කරුණුවලට මතවාදීව ප්‍රතිචාර නොදක්වා තමයි ඔවුන් වාණිජ අධිකරණයට ගියේ. ඔවුන් ලක්ෂ 100 වන්දියක් ලැබුණා කියලා බොරු කිව්වත් ලක්ෂ 10ක් ගෙවන්නයි නියෝග ලැබුණේ. අපි විශ්වාස කරන්නෙ නැහැ දේශපාලන පක්ෂයක ඉදිරිපත් කරන අදහසක් බුද්ධිමය දේපළක් කියලා. ඒ නිසා මේ තීන්දුවේ දෝෂයක් තියෙනවා. ඒක ඉ හළ අධිකරණයේ අභියෝගයට ලක් කරනවා. මේ අදහස් බුද්ධිමය දේපළක් ලෙස පිළිගත්තොත් මේ රටේ දේශපාලන පක්ෂයක අභ්‍යන්තර සංවාදයක් ජනතාවට දැනගන්න ලැබෙන්නෙ නැහැ.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon