විත්තිය ඉල්ලා සිටින සමහර ලේඛන පැමිණිලි පක්ෂයෙන් තවමත් ලබාදී නෑ

  👤  2580 readers have read this article !
By mawbima 2019-01-17

කේ.එස්. උදයකුමාර්

පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවිනැඟුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 35කට ආසන්න මුදලක් වැය කර ජී.අයි. පයිප්ප බට මිලදී ගෙන දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා සඳහා බෙදාහැරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්ති වාචකය ගොඩනැඟීම සඳහා විත්තිය විසින් ඉල්ලා සිටිනු ලබන ලේඛන සමහරක් තවමත් පැමිණිල්ල විසින් ලබා දී නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා ඊයේ (16දා) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ. විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණයේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්ති වාචකය ගොඩනැඟීම සඳහා අවශ්‍ය කරන ලේඛන කිහිපයක් ලබා දෙන ලෙස විත්තිය විසින් ඉල්ලා සිටියද පැමිණිල්ල විසින් එම ලේඛන මෙතෙක් ලබාදී නොමැති බව සඳහන් කළේය. විත්තිකරුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා එම ලේඛන බෙහෙවින් වැදගත් වන බවද විත්තියේ ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

නඩුවට අදාළව සාක්ෂි ලබා දී ඇති සාක්ෂිකරුවන් 38 දෙනකු පොලිසිය වෙත ලබාදී ඇති ප්‍රකාශවලින් අනාවරණය වන ලේඛන 51ක් ලබාදෙන ලෙස විත්තිය විසින් ඉල්ලීම් කර ඇති අතර මේ ගැන පොලිසියෙන් විමසා අදාළ ලේඛන විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාමි මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටිනු ලබන ලේඛන ඔවුන් වෙන ලබා දෙන ලෙස පැමිණිල්ල වෙත නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා මෙම නඩුව නැවත මාර්තු මස 28 වැනිදා කැඳවන බව නියෝග කළේය.

එම ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කර බලා එදින අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද මහාධිකරණ විනිසුරුවරයා විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කෙළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවිනැඟුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 35කට ආසන්න මුදලක් වැය කර ජී.අයි. පයිප්ප බට මිලදී ගෙන දේශපාලන කටයුතු සඳහා දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා වෙත බෙදාහැරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කෙළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම අධිචෝදනා පත්‍ර ගොනු කර තිබේ.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අසාද් නවාමි මහතා පෙනී සිටී. විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සමඟ ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා පෙනී සිටී. විත්තිකාර කිත්සිරි රණවක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon