ඉදිරි විමර්ශන ගල්නෑව පොලිසියෙන් ඉවත් කර අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට පැවරීමට නියෝග

  👤  2581 readers have read this article !
By mawbima 2019-01-17

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

ගල්නෑව ඉහළ කලංකුට්ටිය ප්‍රදේශයේ කලක් තිස්සේ රහසිගතව හොර කච්චේරියක් පවත්වාගෙන ගිය බවට ව්‍යාජ ලිපි ලේඛන සහ උපකරණ මෙන්ම නිල මුද්‍රා රැසක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය දැනට සිදු කරන විමර්ශන කටයුතු එම පොලිසියෙන් ඉවත් කර අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට පවරන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය. ඒ මෙම සිද්ධියට අදාළ නඩුව කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින්නැයි නීතිඥයන් කළ ඉල්ලීමක් සලකා බැලූ දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා ඔවුන් දෙදෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කෙරිණි. මෙම සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවන් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ ඇප මත මුදාහැරියේ දමිත් නිශාන්ත වඩුගේ සහ යාපා මුදියන්සේලාගේ දමිත් මධුශංක යාපා යන සැකකරුවන්ය. ඔවුන් බුල්නෑව සහ ඉහළකලංකුට්ටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

පැමිණිල්ල වෙනුවෙන් ගල්නෑව පොලිසියේ නිලධාරීන් පෙනී සිටි අතර පළමු සැකකරු වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා දෙවැනි සැකකරු වෙනුවෙන් නීතිඥ රවින්ද්‍ර රංජන් මහතා ද පෙනී සිටියහ.

වැටලීම සිදු කරන අස්ථාවේ එම හොර කච්චේරියේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද වාහන බලපත්‍ර කිහිපයක්, ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද වෙනත් සහතික සහ එම කටයුතු සඳහා යොදා ගනු ලැබූ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සිය භාරයට ගැනීමට ගල්නෑව පොලිසිය සමත් විය.

ආදායම් බලපත්‍රයක් අලුත් කර ගැනීමට ගල්නෑව ප්‍රදේශයේ පුද්ගලයකු ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ එම ආදායම් බලපත්‍රය ව්‍යාජව සකසන ලද එකක් බවට හඳුනා ගෙන ඒ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ගල්නෑව පොලිසියට දැනුම් දීමෙන් පසුව මෙම වැටලීම සිදු කර තිබේ.

අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවා පතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස 1 භාර පොලිස් අධිකාරි චූලනී වීරරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon