මුදල් ආරවුලකට අහංගම ව්‍යාපාරිකයකු පැහැරගෙන ගිය තුන්දෙනාගේ කල්ලිය ඉමදුව පිවිසුමේදී මාට්ටු

  👤  2556 readers have read this article !
By mawbima 2019-01-17

චාමර අමරසූරිය

අහංගම - එන්.ජී. ලියනගේ
මාපලගම -
රසික සෙනෙවිරත්න

අහංගම නගරයේදී ව්‍යාපාරිකයකු පැහැරගෙන දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පලා යෑමට උත්සාහ කළ තිදෙනෙකු සහ ඔවුන් ගමන් කළ මෝටර් රථයද අත්අඩංගුවට ගත් පොලිසිය පැහැරගත් ව්‍යාපාරිකයාද බේරාගෙන ඇත. පෙරේදා (15දා) දහවල් අහංගම ඉමදුව පාරේ ව්‍යාපාරික ආයතනයකට කඩා වැදුණු පුද්ගලයන් තිදෙනකු එම ව්‍යාපාරයේ හිමිකරු අල්ලා බලහත්කාරයෙන් ඔවුන් පැමිණි මෝටර් රථයට දමාගෙන දික්කුඹුර මාර්ගය ඔස්සේ පලා ගොස් තිබේ.

මොවුන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමට ගොස් කොළඹ දෙසට ඇතුළු වීමට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේ එම පිවිසුමේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු මෙම රථය සහ එහි සිටි පුද්ගලයන් පිළිබඳ සැකයක් මතු වී මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයකු පැහැරගෙන යන බව හෙළි වී තිබේ.

ඊට පසු දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරු පොලිසියේ ස්ථානාධිපති සමන් කුමාර මහතාගේ උපදෙස් පරිදි කොස්තාපල්වරුන් වන චතුරංග (89446) සහ ඉදුනිල් (82024) යන නිලධාරීන් විසින් සැකකරුවන් සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා ද බේරාගෙන තිබේ.

මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සඳහා සැකකරුවන් තිදෙනා සහ මෝටර් රථය අහංගම පොලිසිය වෙත භාර දී ඇත. ව්‍යාපාරිකයා පැහැරගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනා හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද වාර්තා වේ. මේ අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම පැහැර ගැනීම සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. අහංගම පොලිස් ස්ථානාධිපති උපුල් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්‍ෂක දර්ශන නානායක්කාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon