වරද පිළිගත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු කළු කොටි සාමාජිකයන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් වසර 10ක සිරදඬුවම්

  👤  2538 readers have read this article !
By mawbima 2019-01-17

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

යුද සමයේදී අනුරාධපුර පිහිටි ගුවන් හමුදා මූලික කඳවුරට ගුවනින් හා ගොඩබිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර රුපියල් කෝටි හාරසියයකට අධික අලාභයක් සිදු කර ආරක්‍ෂක අංශ සාමාජිකයන් 14 දෙනකු ජීවිතක්‍ෂයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු කළු කොටි සාමාජිකයන් දෙදෙනකුට වෙන් වෙන් වශයෙන් වසර දහයක සිරදඬුවමක් උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (16දා) නියම කළේය.

සිරදඬුවම් නියම වූයේ කුලන්කඩි වීදිය (වැව පාර) සංගාතෙයි යාපනය ලිපිනයේ පදිංචි පුරුසෝත්තමන් අරවින්දන් නොහොත් සෙම්පරදී හා මයිලඩි උතුරු කන්කසන්තුරේ ලිපිනයේ පදිංචි රාසවල්ලවන් තබෝරූබන් නොහොත් කඩල්වෙන්ගෙයි යන චූදිතයන්ටයි. ගුවන් හමුදා කඳවුරට පහරදීම සඳහා වර්ෂ 2006 නොවැම්බර් මස 01 වැනිදා සිට 2007 වසරේ ඔක්තෝබර් මස 22 වැනිදා දක්වා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක නිරත වීම හා ගුවනින් හා ගොඩබිමින් පහරදී ගුවන්යානා රැසකට අලාභ හානි සිදුකර ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිරිසක් මරණයට පත් කිරීම යන අධි චෝදනාවන්ට විත්තිකරුවෝ අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබූහ.

චෝදනා දෙකට වසර පහ බැගින් බරපතළ සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම් වසර පහකින් එකවර ගෙවී යන ලෙස නියම කරන බව විවෘත අධිකරණය හමුවේ පැවැසුවේය. වර්ෂ 2007 ඔක්තෝබර් මස 21 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 24 දෙනකුට ආසන්න පිරිසක් අනුරාධපුර පිහිටි ගුවන් හමුදා මූලික කඳවුරට ගුවනින් හා ගොඩබිමින් එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් කඳවුරේ නවතා තිබූ රුපියල් කෝටි 400ක් පමණ වටිනා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දහයක් සම්පූර්ණයෙන්ම විනාශ කර තවත් ගුවන් යානා හයක් අර්ධ වශයෙන් විනාශ කර ආරක්‍ෂක අංශ සාමාජිකයන් දාහතර දෙනකු ඝාතනය කර තිබිණි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රහාරක එම්.අයි. 24 වර්ගයේ හෙලිකොප්ටර්, බෙල් 12 වර්ගයේ හෙලිකොප්ටර්, ප්‍රහාරක ගුවන් යානා පුහුණු ගුවන් යානා 10ක් විනාශ වී තිබූ අතර තවත් ගුවන් යානා හයක් ප්‍රහාරවලින් අර්ධ වශයෙන් හානි සිදු වී තිබිණි. හදිසි ප්‍රහාරය මැඬපැවැත්වීම සඳහා වවුනියා කඳවුරේ සිට අනුරාධපුර ගුවන් හමුදා කඳවුර දෙසට පියාසර කළ බෙල් 212 වර්ගයේ ගුවන් යානයකටත් ත්‍රස්තවාදීන් සාලියපුර ප්‍රදේශයේ සැඟවී සිට ආර්.පී.ජී. රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර එම යානය ‍ෙදාරමඬලාව ගම්මානයට කඩාවැටී විනාශයට පත් විය.

යානය පැදවූ ගුවන් නියමුවා, අවිකරු ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයන් සිවු දෙනකු එම ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්විය. කඳවුර තුළ සිදුවූ දරුණු වෙඩි ප්‍රහාරයන් හමුවේ ගුවන් හමුදා බලඝන නායකවරයකු ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් ජීවිතක්‍ෂයට පත් වූ අතර යුද හමුදා විශේෂ බළකායේ නිලධාරීන් කඳවුරු භූමියට ඇතුළු වී එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් කළු කොටි යනුවෙන් හඳුන්වන ත්‍රස්තවාදීන් 22කට ආසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්විය.

විත්තිකරුවන් දෙදෙනා 2008 වසරේදී කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා වසර දහයක පමණ කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටියහ. විත්තිකරුවන් වරද පිළිගැනීම හා රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි කාලය සැලකිල්ලට ගනිමින් සිරදඬුවම නියම කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

මෙම නඩුවේ මූලික සාක්‍ෂි විභාගය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර පසුව වැඩිදුර විභාගයට අනුරාධපුර විශේෂ මහාධිකරණයටත් අනුරාධපුර මහාධිකරණයටත් යොමු කර තිබිණි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) (උෟ) සහ 3(අ) වගන්තිය යටතේ නීතිපතිවරයා මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon