රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධනයත් ජවිපෙ 20ත් දෙකක් නොව එකක්

  👤  2692 readers have read this article !
By mawbima 2019-01-17

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ව්‍යවස්ථා සංශෝධනයත්, ජවිපෙ 20 සංශෝධනයත් දෙකක් නොව එකක් බවත්, ඔවුන්ගේ අරමුණ දුර්වල හා අස්ථාවර රටක් තුළ බෙදී වෙන් වී යෑම දිරි ගැන්වීම බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඊයේ (18දා) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

 එහිදී නුවන් බැල්ලන්තුඩාව මහතා මෙසේද ප්‍රකාශ කළේය.

2015 ජනවාරි 8 දේදුනු සන්ධානයේ හවුල්කරුවන් වූ රනිල්, මංගල, චන්ද්‍රිකා කඳවුරටත් බෙදුම්වාදී දමිළ ඩයස්පෝරාවටත් එහි දේශීය ඒජන්තයන් වූ ද්‍රවිඩ ජාතික සන්ධානයටත් එහි කුලී හේවායන් වූ ජවිපෙටත් එකම පොදු අරමුණක් තිබේ. ඒ වෙන කිසිවක් නොව ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් අස්ථාවර හා ව්‍යාකූල රටක් කිරීමෙන් ඉන්දියන් සාගරය තුළ පවතින ඇමෙරිකානු, ඉන්දියානු හා චීන ආරක්ෂක හා වෙළෙඳ බල අරගලයේ ඉත්තෙක් බවට පත් කිරීමයි. නොවැම්බර් 26දා සිට මාසයක් තුළ බටහිර තානාපති කාර්යාල මඟින් අධිකරණයේ හා පාර්ලිමේන්තු ගැලරියේ ප්‍රදර්ශනය කරන ලද්දේ එකී අභිලාෂයයි.

මධ්‍යම ආණ්ඩුව තුළ විධායකය දුර්වල කරන අතර එකිනෙකා මරාගන්නා ප්‍රාන්ත රාජ්‍යයන්ගේ තිප්පොළක් බවට රට පත් කිරීම එහි අවසාන අදියරයි.

2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල, මහ බැංකු වංචාව හා දේශීය සම්පත් විකිණීම තුළින් වික්‍රමසිංහ මහතාට හිමි දේශපාලන සුජාතභාවය අහිමි වී ඇත. බලයෙන් පහකරන ලද වික්‍රමසිංහ මහතා රැක ගැනීමට අනුර කුමාරගේ ජවිපෙ, දමිළ සන්ධානය හා විදේශ තානාපතිවරු හැරුණු කොට මෙරට ජනතාව දක්වන ලද්දේ නිද්‍රාශීලී වුවමනාවකි.

තෛ්‍රනිකායික මහ සංඝරත්නයේ බලවත් විරෝධය උත්සන්න වී ඇති අවස්ථාවක මහජන විශ්වාසය නාය යමින් ඇති වටපිටාවක ව්‍යවස්ථා සංශෝධනය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය කැඳවන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටම නොවේ.

එක අතකින් තමන් බලයට ගෙන ආ මෙන්ම බලය රැක දුන් විදේශ බලවේග හා බෙදුම්වාදී ඩයස්පෝරාවට තමන් භාරදුන් වැඩේ කරමින් සිටින බව පෙන්වීමටය.

චෙල්වනායගම්, සුන්දරලිංගම් හා අමිර්තලිංගම්ලා පෝෂණය කළ බෙදුම්වාදය ප්‍රභාකරන් ත්‍රස්තවාදයට හැරවූවා මෙන්ම සම්පන්දන්, විග්නේශ්වරන් සහ සුමන්තිරන්ගේ අන්තවාදය ත්‍රස්තවාදයට පාවඩ දමයි.

ජවිපෙ යෝජනා කරන පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් පාර්ලිමේන්තුවේ ස්ථාවර බව සඳහා මන්ත්‍රි ධුරයක් දිනා ගැනීමට අවශ්‍ය අවම ප්‍රතිශතය 12% දක්වා වැඩි කළ යුතුය. නැතිනම් ආසන ක්‍රමයට මහ මැතිවරණය පැවැත්විය යුතුය. මේ කිසිදු ආකාරයක මැතිවරණ සංශෝධනයකට ජවිපෙ එකඟ නොවනු ඇත.

මෑතකදී ජවිපෙ විසින් සිය කූට අභිලාෂය මුදුන් පමුණුවා ගැනීම පිණිස 'ජනමතයට හිස නවනු- විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු' යනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යති. මෙහිදී ඔවුන් ජනමතය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්න පැහැදිලි නැත.

එකී ජනමතය 2015 ජනවාරි 8 ජනවරම නම්, ජවිපෙ මහජනතාව ඉදිරියේ දායකත්වය නොදැක්වූ මැතිවරණ ජයග්‍රහණයක පොරොන්දු ඉටු කර ගැනීමට දක්වන උනන්දුව ප්‍රශ්න සහගතය. එහි සත්‍ය ප්‍රකාශනය වන්නේ ජවිපෙ, 2015 ජනවාරි දේදුනු සන්ධානය පසුපස සිටි අශුද්ධ බලවේගයේ ක්‍රියාකාරි කොටස්කරුවකු බවයි.

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන මහ සඟරුවන හා මහජනතාව මෙන්ම ඊට අනවබෝධයෙන් අත උස්සන එජාපයේ සිටින රටට හිතැති පිරිසද මෙය තේරුම් ගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයේ සළු පිළි අන්දවා තොල් පාට කරන ලද දේශපාලන වෛශ්‍යාවක් බවට පත් වූ 'විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු' සටන් පාඨය අස්සේ සඟවා ඇත්තේ දුර්වල හා අස්ථාවර රටක් තුළ බෙදී වෙන්වී යෑම දිරි ගැන්වීම පමණක් බවයි. සරලව කියතොත් රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධනයත් අනුරගෙ 20 සංශෝධනයත් දෙකක් නොව එකකි.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon