අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය සුපිරි අට වටය හෙට සිට

  👤  2538 readers have read this article !
By mawbima 2019-01-17

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය අරඹමින් තරග 4ක් කොළඹදී හෙට (17දා) ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව 'ඒ' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු වැනි ස්ථානය දිනාගත් එන්.සී.සී. කණ්ඩායම සහ 'බී' කාණ්ඩයේ 4 වැනි ස්ථානය හිමි කරගත් කෝල්ට්ස් කණ්ඩායම අතර තරගය කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 'බී' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගත් සී.සී.සී. කණ්ඩායම සහ 'ඒ' කාණ්ඩයේ 4 වැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර තරගය පැවැත්වෙන්නේ කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදීය.

තවද චිලව් මේරියන්ස් කණ්ඩායම සහ සැරසන්ස් කණ්ඩායම අතර තරගය හෙට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර ටැමිල් යූනියන් සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර තරගය කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මේ අතර මෙම තරගාවලියේ පලඟ ශූරතාවය සඳහා වන තරග 3ක් අනිද්දා (18දා) කොළඹදී සහ කටුනායකදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මුවර්ස් සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර රාගම සහ නිගම්බු ක්‍රීඩා සමාජ කණ්ඩායම් අතර තරගය කටුනායක නිදහස් වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණයේදී 18 වැනිදා සිට දින 3ක් පුරා පැවැත්වේ. තවද ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම සහ බදුරලිය කණ්ඩායම අතර තරගය ආරම්භ වන්නේ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon