ඩුබායි නියෝජිතයන්ට ප්‍රකාශයක් ලබාදීමට උදයංග වීරතුංග කැමැත්ත පළකර තිබෙනවා

  👤  973 readers have read this article !
By mawbima 2019-01-17

අමිල අබේරත්න

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවී ඇති අපරාධයන්ට අදාළව ඩුබායි රජයේ නියෝජිතයන්ට ප්‍රකාශයක් ලබාදීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වීරතුංග මහතා කැමැත්ත පළකර ඇති බව රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ඊයේ (16දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

හිටපු තානාපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයකු හරහා ඒ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලිපියක් මඟින් දන්වා එවා ඇති බවද අධිනීතිඥවරයා ප්‍රකාශ කර සිටියේය.

අධිනීතිඥවරයා එලෙස දන්වා සිටියේ සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

ඔහුට ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය වන්නේ නම් ඔහු සම්බන්ධයෙන් පවරා ඇති උදර්පන නඩුව හබනොකර ලංකාවට යෑමට කැමැත්ත පළකර එහිදී නීත්‍යානුකූලව අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම නීත්‍යනුකූල ක්‍රියාපටිපාටිය වන බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අභියාචනා අධිකරණයේ විභාග වන උදර්පන නඩුව සම්බන්ධයෙන් හිටපු තානාපතිවරයා කාලය ලබා ගැනීමක් සිදුකර ඇති බවද ඊට අදාළ නඩුව මේ මස 21 වැනිදා කැඳවීමට නියමිත බවද රජයේ අධිනීතිඥ ප්‍රකාශ කළේය.

ඊට අදාළ නඩුව සම්බන්ධයෙන් ඔහු ඇප මත සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

හිටපු තානාපතිවරයාගේ නැන්දණිය වන ලතා ඉන්ද්‍රානි මනම්පේරි, ඔහුගේ බිරියගේ සහෝදරයා වන ලලිත් ලෙලුම් මනම්පේරි යන අයගේ මෙරට බැංකුවල ගිණුම්වලට විදේශයන්හි සිට මිලියන 7, මිලියන 2, මිලියන 5ක් වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රේෂණය වී ඇති බවද ලතා ඉන්ද්‍රානි මනම්පේරි යන අය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලෙලුම් මනම්පේරි යන හිටපු තානාපති උදයංග වීරතුංග යන අයගේ මස්සිනා මේ වන විට නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන බවද රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

විදේශ රටවල සිට විදේශ මුදල් විශාල ප්‍රමාණයෙන් හිටපු තානාපතිවරයාගේ හිතවතකු වන සාරුම්‍ය චන්දන නමැත්තකුගේ කොමර්ෂල් බැංකුවේ ගිණුමකට ප්‍රේෂණය වී ඇති බවද ඔහු පවර් ඔෆ් ඇටර්නි බලපත්‍රයක් හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එම මුදල් යවා ඇති බවද ඒ පිළිබඳ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බවද රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ වී ගනුදෙනුවේ සැකකරුවන් ලෙස නම්කර ඇති පෙරගවේව කුල්‍ෙදාරම් යන විදේශ ජාතිකයන් දෙදෙනාට නැවත නොතීසි නිකුත් කරන ලෙස රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඔහු නොතීසිය මඟින් ඉල්ලා සිටියේ මෙම වසරේ මාර්තු මස 15 වැනි දින හෝ ඊට පෙර දිනක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස අධ්‍යක්ෂවරයා හමුවේ පෙනී සිට සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙසටය.

නඩුව මෙම වසරේ මාර්තු 27 වැනිදා යළි කැඳවීමට නියමිතය.
රජයේ අධි නීතිඥ උදාර කරුණාතිලක මහතා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon