සේනා දළඹු සේනා කුඹුරුවලටත් පනීදැයි විමසිල්ලෙන්

  👤  2664 readers have read this article !
By mawbima 2019-01-18

මහනුවර - නදීක දයා බණ්ඩාර

ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වී වගාවට හානි කරන දළඹු විශේෂයක්දැයි පරීක්ෂණ කිරීම සඳහා කීට විද්‍යාඥයන් කිහිපදෙනකුගෙන් සමන්විත මඬුල්ලක් මඟින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. විජේකෝන් මහතා ප්‍රකාශ කළේය.

කුරක්කන්, කවුපි වැනි භෝග වගාවන් තුළ දළඹු විශේෂයක් හමුවී ඔවුන් සාර්ථකව මර්දනය කර ඇති නමුත් එම සත්ත්වයන් බඩඉරිඟු වගාවට හානි කරන දළඹු විශේෂයදැයි නිශ්චිතව හඳුනාගෙන නොමැති බව ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී ඊයේ (17දා) පැවැති සාකච්ඡාවකදී ඒ මහතා ප්‍රකාශ කළේය.

සේනා දළඹු විශේෂයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන කාර්යසාධක බළකායේ දෙවැනි සාකච්ඡා වටය අදාළ සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සේනා දළඹු විශේෂය නුවරඑළිය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවල වාර්තා වී ඇති බවත් යාපනය දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාව සුලබ නොවන නිසා එම දිස්ත්‍රික්කයේ දළඹුවාගේ පැතිරී යෑමක් සිදුව නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සේනා දළඹුවා සිටිය පමණින් බඩඉරිඟු ආහාරයට ගැනීම කිසිසේත්ම අහිතකර වන්නේ නැහැ. නමුත් දැන් ජනතාව තුළ පවතින්නේ අනියත බියක්. මෙම දළඹුවා ළපටි බඩඉරිඟු කරල්වල ඉතාමත් සුළු කොටසකට පමණයි හානි කරන්නේ.

නමුත් මේ නිසා සම්පූර්ණ බඩඉරිඟු කරල අපතේ හැරීමක් සිදු කරනවා. නමුත් මෙම බඩඉරිඟු කරල හානි නොවූ ස්ථාන පරිභෝජනය කිරීම කිසිදු අයුරකින් අහිතකර වෙන්නේ නැතැයි විජේකෝන් මහතා පැවැසීය.
මධ්‍යකාලීන වැඩපිළිවෙළ යටතේ අලුත් බෝග වර්ග තේරීම, සුවිශේෂ වූ කෘමිනාශක යෙදීම ආදිය පිළිබඳව මේ වන විට සාකච්ඡා කරනවා යැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. විජේකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon