'සේනා' නුවරඑළියත් ආක්‍රමණය කරයි

  👤  928 readers have read this article !
By mawbima 2019-01-18

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටම මේ වන විට සේනා දළඹුවා පැතිර යමින් තිබෙන බව වාර්තා වෙයි. සේනා දළඹුවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැතිර යෑම වළක්වා ගැනීමේ අරමුණින් සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කෘෂි විද්‍යාඥ එස්.එන්. වැලිගමගේ මහතා සමඟ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයත් නිලධාරීන්ද, පශු වෛද්‍ය නිලධාරීන් මෙන්ම මහා පරිමාණ සත්ත්ව ගොවිපොළ කළමනාකරුවන්ද සහභාගි වූ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

බඩඉරිඟු හා තෘණ කොළයට අයත් ශාකවලට බහුලව හානි කළ හැකි මෙම සේනා දළඹුවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගාවන්ට ආදේශ වුවහොත් ලීක්ස්, ගෝවා, බීට්, අර්තාපල් වැනි වගාවන්ට විශාල ලෙසින් හානි සිදු කළ හැකි සලඹයකු බවටද මේ වන විට හඳුනාගෙන තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසා සිටියේ පසුගියදා පුවත්පත්වල වාර්තා වූ පරිදි හෝර්ටන්තැන්නටද සේනා දළඹුවාගෙන් අනතුරක් ඇති බවයි. එසේම මේ වන විට නුවරඑළිය, වලපනේ, කොත්මලේ, අඹගමුව යන ප්‍රදේශවල බඩඉරිඟු වගාවලින් සේනා දළඹුවා ගැන වාර්තා වන බවද කීහ.

දිස්ත්‍රික්කයේ සත්ත්ව පාලනය සිදුකරන විශාල ගොවිපළවලට වැල්ලවාය, මොනරාගල වාගේ ප්‍රදේශවලින් බඩඉරිඟු ගස් ප්‍රවාහනය කරනවා සතුන්ගේ කෑම සඳහා. ඒ හරහා සේනා දළඹුවා නුවරඑළියට එන්න පුළුවන්. එහි අනතුරක් පෙනෙන්නට තිබෙන නිසා කඩිනමින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. ඒ නිසා අපේ ගොවිපළවල් සඳහා අමු බඩඉරිඟු ගස් ගෙන්වීම විධිමත් ක්‍රමයකට කළ යුතුයි.

මේ වන විට සෑම සතියකම නුවරඑළිය නගරයට සතිපොළට කිරි බඩඉරිඟු කරල් ලොරි දෙකක් පමණ ගෙනෙන බවත් එම කිරි කරල් සහිත කොළවලින් සේනා දළඹුවා පැමිණිය හැකි හෙයින් ඒ ගැන දැඩි අවධානයක් යොමු කරන ලෙස නුවරඑළිය පුරපතිවරයාට දැනුම්දී තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ටී.එම්.ඒ.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

නුවරඑළියෙන් පහළට බහින පාරවල්වල බඩඉරිඟු තම්බා විකුණන තැන්වල ඉවත දමන කොටස්වලත් මෙම සතා රැඳී සිටීමට පුළුවන් නිසා ඒවා පුලුස්සා දමන ලෙසටත් උපදෙස් දීලයි තියෙන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon