සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ මමත් සොර මුලකට හසුවුණා

  👤  2880 readers have read this article !
By mawbima 2019-02-11

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොළොන්නරුවේදී පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් මේ බව පැවැසීය.
ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.

මේ දිස්ත්‍රික්කයේ කාටවත් මට ඇඟිල්ල දික් කරන්න බෑ මොනවද කළේ කියලා අහන්න. අහන්න තියෙන්නේ ජනාධිපතිතුමා පොළොන්නරුවට මොනවද නොකළේ කියලා විතරයි. සිංහල රජ දවසෙන් පස්සේ මම පොළොන්නරුව වෙනස් කරලා තියෙනවා.

ජනාධිපතිවරණය නියමිත කාලයට පවත්වනවා. ඒක වළක්වන්න බෑ. ඒ හැර කාටවත් බලෙන් ජනාධිපතිවරණය තියන්නත් බෑ. ඒක තියනවා නම් තියන්න පුළුවන් මට විතරයි. අධිකරණයටවත් ඒගැන තීන්දු කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම තියෙනවා ජනාධිපතිවරණය කලින් පවත්වනවා නම් එය පැවැත්වීම ගැන ගැසට් නිවේදනය නිකුත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි කියලා. ගිය සතියේ මහින්ද රජපක්ෂ මහත්තයා හමුවුණු වෙලාවේ මට කීවා මෛත්‍රි මම කරපු මෝඩ වැඩේ නම් ඔයා කරන්න එපා කියලා. ජනාධිපතිවරණය අදාළ කාලයේදී තියෙයි. අපි ඊට කලින් ව්‍යවස්ථානුකූලව තිබෙන ගැටලු, නීතිමය තත්ත්වයන් විසඳලා පළාත් සභා මැතිවරණයත් ස්ථිරවම තියනවා. මේ කරගෙන යන සංවිධාන වැඩපිළිවෙළ ඉතාම වැදගත් පළාත් සභා ඡන්දෙට.

ලක්ෂ 62ක් මට 2015දී ඡන්දය දුන්නේ ප්‍රධාන වශයෙන්ම රටේ භීෂණය නැති කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න. යහපත් රටක් හදන්න. මට ඒක කරන්න පුළුවන් වුණා. නමුත් යළි ඒ බිය සැක දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ ගැන සමස්ත රට වැසියාම සෙවිල්ලෙන් සිටිය යුතුයි. මත් ජාවාරම, පාතාලය දැන් ගමක් නගරයක් පාසා විසිරී ගොස් තිබෙනවා. ගම්වලත් යමක් කමක් තියෙන අයගෙන් මාස් පතා මේ ජාවාරම්කාරයෝ සල්ලි ගන්නවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය, අපරාධ අද සමාජයේ මහා පිළිලයක් බවට පත්වෙලා තියෙනවා.

ඔවුන් මැඬලීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරලා තිබෙනවා. මම පොලිසිය භාර අරගෙන දැන් මාස තුනක් නෑ තවම. මේ කෙටි කාලයට පාතාල මර්දනයට, කුඩු ජාවාරම් මර්දනයට ගත්ත ක්‍රියාමාර්ග ඔබ මාධ්‍ය තුළ දකිනවා. මම පොලිසියේ අයටත් වීර පදක්කම්, ගරු සම්මාන දුන්නා. පළමුවැනි වතාවට ජනාධිපති සම්මාන, මීට පෙර කවදාවත් එහෙම වෙලා නෑ. මම පොලිසිය පොලිෂ් කරන්න පටන් අරන් තිබෙනවා. පොලිසිය ශක්තිමත් කරන්නේ ඇයි. නීතිය, සාමය, සාදාචාරය, වංචාවෙන්, දූෂණයෙන් තොර සමාජයක් හදන්න.

බණ්ඩාරනායක මැතිතුමාගේ කාලයේ තමයි තමන්ගේම ආණ්ඩුවේ වැරැදි කළ ඇමැතිවරුන්ට විරුද්ධව කොමිසමක් පත් කළේ. තල්ගොඩපිටිය කොමිසම. බණ්ඩාරනායක මැතිතුමාගෙන් පස්සේ තමාගේම ආණ්ඩුවේ පාලන කාලය තුළ එම වැරැද්දක් සොයන්න කොමිසමක් පත් කරලා ඒ අයට දඬුවම් දීමේ කටයුතු කරන්නේ මගේ කාලයේ දීයි. මහ බැංකු කොමිසම ඊයේ පෙරේදා පත් කළා. 2015 සිට 2018 දෙසැම්බර් 31 වෙනකල් රාජ්‍ය ආයතනවල සිදු වෙච්ච දූෂණ වංචා හොයන්න මගේ කාලය තුළ මගේ ආණ්ඩුවේ සමහර අය හරියට කලබල වෙනවා. කලබල වෙන්න වුවමනා නෑ වැරදි කරලා නැත්නම්.

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ, හිඟුරක්ගොඩ - ප්‍රියා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon