31

කොළඹ

නවතම පුවත්

ගල් ඔය වන අලි ඇල්ලූ අලි පනික්කයන්ගේ අන්තිම පුරුක සොයා ‘මව්බිම’ ගිය ගමන

පාරදිගේ

වල් අලි ඇල්ලීම කියන තරම් පහසු දෙයක් නොවේ. සිංහල රජ දවස කන්ද උඩරට රාජධානියේදී වල් අලි අල්ලා මෙල්ල කර අලි ගාල් පවත්වාගෙන ගිය ප්‍රභූවරුන් පිළිබඳ කතාන්දර අපි ඇති තරම් අසා ඇත්තෙමු. අලි ඇතුන් ඔවුන්ගේ ගාම්භීර බව ප්‍රදර්ශනය කරන්නක් බවට පත් කරගෙන සිටියහ. එහෙත් ඓතිහාසික දිගාමඬුල්ල රාජධානිය වල් බිහිවීමෙන් පසු ඩී.ඇස්. සේනානායක සූරීන් විසින් යළි අස්වැද්දීම කරගෙන ගිය යුගයේදී සහ ඊට පෙර සිට ගල්ඔය වල් අලි  ඇල්ලූ පනික්කයන්ගේ කතා ඉතාමත් විරලය. මේ පිළිබඳ සොයා බැලීමේදී මෙවන් පරපුරක ජීවතුන් අතර සිටින අන්තිම පුරුක අම්පාර වරිපතන්චේන ප්‍රදේශයේ සිටින්නේ යැයි ලද තොරතුරක් අනුව ‘මව්බිම’ ඔහුව සොයා එරගම වරිපතන්චේන ගමට ගියෙමු. මෙවන් කටයුතුවලදී සහායට එන ගමන් සගයා වන පුරාවිද්‍යා ගවේෂක හා ඉසඹුලත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි විජයලත්යන්ද අපි සමඟ විය.

සින්න ලෙබ්බේ අහමඩ් ලෙබ්බේ යැයි හැඳින්වූවත් ඔහු ගැන දන්නෝ අල්පය. වෙල්ලතම්බි වට්ටානේ යැයි කී විට ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. ලොකු කුඩා බාල මහලු හැම දෙනෙක්ම ඔහු හඳුන්වන්නේ වෙල්ලතම්බි වට්ටානේ නමැති උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර් ලෙසය. 1939ට පෙර සිට වරිපතන්චේන එරගම ගම්මානවල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් ලෙස කටයුතු කර ඇත්තේ සින්නලෙබ්බේ නමැත්තෙකි. ඔහු වෙල්ලතම්බි වට්ටානේගේ පියා වෙයි. නවසිය තිස් නවය සිට නවසිය හැට අට දක්වා උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් රාජකාරිය හා ගම් සභාපති රාජකාරිය කළ සුලෙයිමාන් ලෙබ්බේ අප කථානායකයාගේ වැඩිමහල් සහෝදරයා වෙයි. ඉන්පසුව නවසිය හැට අට සිට වෙල්ලතම්බි වට්ටානේ භාරගත් රාජකාරිය අද පැවැරී ඇත්තේ සුලෙයිමාන් ලෙබ්බේගේ දියණිය වෙතටය. එදා සිට මේ දක්වා පරම්පරා කිහිපයක ඇත්තන් විසින් උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුර හොබවන ප්‍රභූ පවුලක මවු පස සහෝදරයන් තිදෙනකුගේ රාජකාරිය මීට හාත්පසින්ම වෙනස් වූවකි. ජීවිතයත් මරණයත් අතර තදින්ම බැඳී පැවැති එය වල් අලි පැටවුන් අල්ලා මෙල්ල කිරීමයි.

මාමලා අලි අල්ලන්ට යනකොට මමත් ඒ පස්සෙන් වැටුණා. අම්මගෙ මල්ලිලා යන හින්දා අම්මා මොනවත් කිව්වෙ නෑ. වෙල්ලතම්බි වට්ටානේ අපි සමඟ අලි ඇල්ලීමේ වික්‍රමයන් හෙළි කළේ එහෙම. සීනි පනික්කර්, කලන්දර්ලෙබ්බේ පනික්කර් සහ අච්චි පනික්කර් කියන මගේ මාමලා තුන්දෙනා බය මොකක්ද කියල දන්නෙ නෑ. ඒ පස්සෙන් වැටුණ මටත් බයක් ගැන හැඟීමක් නෑ. මුව හම හීනි තීරුවලට කපලා, වතුරේ පොඟවලා, කින්නියා පැත්තෙ මිනිස්සු හදන කඹ කරේ දාගෙන යන මාමලත් එක්ක යන ගමන මරු කටට යන ගමනක් වුණත් හරිම විනෝදයි. ඒ යනකොට අළු පොට්ටනිය අරගෙන යන්නේ මම. අලි රංචුව දැක්කම ඉස්සරවෙලාම කරන්නේ අළු ටිකක් විසිකරන එක. ඒකෙන් හුළං එන පැත්ත දැනගන්ට පුළුවනි. යටි හුළඟට මුවාවෙලා අලි ළඟට කිට්ටු කරනවා. වෙඩික්කාරයා දඩෝං ගාලා උඩට වෙඩි තිබ්බම අලි රෑන කැලේ කඩාගෙන දුවනවා. පැටවුන්ට හයියෙන් දුවන්ට බෑ. එතකොට මාම කෙනෙක් බඹ හතරක් විතර දිග කඹේ තියෙන තොණ්ඩුව අලි පැටියගෙ කකුලකට හිර කරනවා. හත් අට දෙනෙක් කස්ගාල පැනල අලි පැටියගෙ ඔළුවෙන් කණෙන් අල්ලලා බිම දමා ගන්ට බලනවා. තවත් කෙනෙක් කෙටි කඹේට තවත් කඹයක් අෑඳගෙන ඒක ගහක ගැට ගහනවා. ඔය අව්වස්සෙ පැනල දුවපු අලි අම්මා ආපස්සට හැරිල පන්නගෙන එනවා. වෙඩික්කාරයා කුරුමානම අල්ලලා වෙඩි තියනවා. සමහර විට අලි අම්මා එතැනම ‍ෙදායි. නැත්නම් වෙඩි කාගෙන පැනල යනවා. ආපහු එනවා. වෙඩි කනවා. හරි ජරමරයක් සිද්ධ වෙනවා. කතාව කියන්ට යන වෙලාවවත් මේකට යන්නෙ නෑ. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට සේරම වැඩ ඉවරයි. ඒත් අලි රංචුව එළව ගන්න එක අමාරුයි. කොහොම කොහොම හරි ඒක කරගන්ට අපේ පනික්කයෝ වැඩ රාජකාරි දන්නවා. බැරිම වුණොත් අලි මන්තරකාරයා පකීර්තම්බි අලි මන්තරයක් මැතුරුවාම සේරම ඉවරයි. මෙහෙම අල්ල ගන්න අලි පැටියට කන්ට තියා වතුරවත් දෙන්නේ නෑ. හාමත් වෙනකම් ගහක බැඳලා දානවා. පැටියා හොයාගෙන එන අලි පන්න ගන්නවා. ටික දවසක් ගියාම එයා හොඳටම හෙම්බත් වෙලා.

අපේ කලන්දර් ලෙබ්බේ පනික්කර් මාමා අලි 99 දෙනෙක් ඇල්ලුවා. දවසක් අලි අල්ලන්ට ගිය දවසකදී වල් අලිය සීනිපනික්කර් මාමගෙ කෙරුවාව නතර කරන්ට වලි කෑවා. වල් අලියා මාමා හොඬයට පටලවාගෙන කටේ ඔබාගෙන හප කරන්ට බැලුවා. මල්ලිට සිද්ධවෙන විපත දැක්ක කලන්දර් ලෙබ්බෙ පනික්කර් මාමා අලියා ළඟට පැන්න ගමන් කට ඇතුළට අත දාලා අලියගෙ දිව අල්ලගෙන කරකනකොට දණ ගැස්සුණු අලියා සිනිපනික්කර් මාමා අතහැරලා බෙටි දාගෙන දුවන්ට පටන් ගත්තා. ඒත් අලිය ඇල්ලූ පාරට ඉළ ඇට දෙක තුනක් කැඩිලා. දවස් ගාණක් මඩකළපුව ඉස්පිරිතාලෙ හිටිය මාමා ලෙඩේ හොඳ වෙලා ගෙදර ආවත් අලි ඇල්ලිල්ල නතර කළේ නෑ. මෙහෙම කාලයක් ගිහින් මැරෙන්ට වැටුණාම මිනිහට පුදුම ආසාවක් ඇතිවුණා. අලුතින්ම අල්ලපු අලියෙක් අත පත ගාන්ට ඕනමයි කීවා. තවත් පනික්කයෝ හත් අට දෙනෙක් එක්ක තිඹිරිගොල්ල කැලේට රිංගපු කලන්දර් ලෙබ්බේ පනික්කර්ගෙ පුතා අබ්දුල් මජිඩ් පනික්කර් අලි පැටියෙක් අල්ලගෙන ආවා. ජීවිතේ අන්තිම සැරේටත් අලියෙක් අතපත ගාපු සීනි පනික්කර් මාමා බොහොම සතුටින් මේ ලෝකෙ අතහැරලා ගියා.

තවත් දවසකදි අපේ අලි අල්ලන පනික්කයෝ කට්ටියක් අලි වැඩක් කෙරුවා. වෙල්ලතම්බි වට්ටානේ සිය පරම්පරාවේ තවත් හපන්කමක් ඇද බෑවා. එදා හච්චි මොහොමඩ් පනික්කාර් එක්ක පනික්කයෝ හත් අට දෙනෙක් ගියා කොන්ඩුවටුවාන කැලේට. පල්ලිය ළඟ ලොකු අලි රංචුවක් ඉන්නවා. අලි පැටව් ගොඩයි. අද එක අලි පැටියෙක් නෙමේ, දෙන්නෙක් වත් අල්ල ගමු. පනික්කයෝ කතා වුණා. අළු ටිකක් අහසට දැම්මම ඉන්න ඉසව්වත් හොඳයි. යටි හුළඟ. එකපාරටම ඩබල් බැරල් තුවක්කුවේ වෙඩි උණ්ඩ දෙකම පත්තු කළා. එකපාරටම ඇහුණ වෙඩි සද්දෙට බයවුණ අලි රෑන උන්හිටි තැන අමතක කරල වගේ කැලේ කඩාගෙන දුවන්ට පටන් ගත්තෙ පැටව් අමතක කරලා. පනික්කයෝ දෙන්නෙක් මද්ද ගහල පැටව් දෙන්නෙක් කොටුකර ගත්තා. අනිත් අය පැටව් දෙන්න මෙල්ල කරගත්තා. අලි අම්ම එනකොට පැටව් දෙන්න ගස් බැඳලත් ඉවරයි. වෙඩික්කාරයා කානු දෙකටම වෙඩි කොටලත් ඉවරයි. ආපහු පැටව් ළඟට ආපු අලි අම්මල දෙන්නත් ඉවරයි. පස්සේ ගස් බැඳල කන්ට බොන්ට නොදී හාමතේ තියල හෙම්බත් කරපු අලි පැටව් දෙන්න ලොකු පොයියංගමක් කරල ගමට ඇරගෙන ආවා.

මෙහෙම අලි අල්ලන්ට යනකොට ජීවිතේ නැතිවෙන වෙලාවල් තියෙනවා. තිඹිරිගොල්ල කැලේදි අපේ පනික්කයෝ දෙන්නෙක් අලි ගහල මැරුවා. ඉස්මයිල් ලෙබ්බේ පනින්කරුයි කලන්දර් ලෙබ්බේ පනික්කියයි දෙන්නම එකම තැනකදි අලි ගහල මැරුණා. ඒත් කොටාගොඩදී මීරා ලෙබ්බේ පනික්කර්ගේ පුතා එම්.එම්. අබුබකර් පනික්කර්ට අලි ගහල තුවාල වුණත් මඩකළපුව ඉස්පිරිතාලෙන් වෙදකම් කරල ජීවිතේ බේරා ගන්ට පුළුවන් වුණා.

මෙහෙම අලිය ගහල මැරෙන්ට කලින් දවසකදි කොන්ඩුවටුවාන්වලදි කලන්දර් ලෙබ්බෙ පනික්කර් හින්ද දෙතුන් දෙනෙක් අලි ගහල මැරෙන්ට ගිහින් බේරුණේ නූලෙන්. එදා කොළඹ ඉඳන් ලොකු මහත්තුරු කට්ටියක් එක්ක ඊ.ඇල්. සේනානායක මහත්තයත් අලි අල්ලනව බලන්ට ඇවිත් හිටිය. ඒ අය ගියේ ලොරියක. අලි පැටියට ගහපු තොණ්ඩුව තිබුණු කඹේ හිටි අඩිය කැඩිල ගියා. එහෙම වෙලාවකදි අනිත් කඹේ දාන්ට ඕන කලන්දර් ලෙබ්බෙ පනික්කයා. මොන හේතුවකට හරි මිනිහට ඒක කරගන්ට බැරි වුණා. අනිත් අය අලි පැටිය මෙල්ල කරගන්ට වලිකනවා. ඒත් අලිය තොණ්ඩුවට අහුවෙලා නෑ. තොණ්ඩුවක් නොවැටුණොත් පැටියෙක් වුණත් මෙල්ල කරගන්ට බෑ. මේක අනිත් අය දන්නෙ නෑ. කොහොම කොහොම හරි අනිත් පනික්කයෝ මේක දැනගෙන අලි පැටිය අත හැරියෙ නැත්නන් දෙන්නෙක් තුන් දෙනෙක් වුණත් බිම දාන්ට අලි පැටියට පුළුවන්. මේක බලාගෙන හිටිය කොළඹින් ආපු මහත්තුරු හොඳටෝම බයවෙලා දඩිබිඩියේ ලොරියට නඟින්ට ගිහින් අතපය කඩා ගත්තා. තුවාල කරගත්තා.

මේක සිද්ධ වුණේ කන්තලේදි. පුරුදු විදියට තොණ්ඩුව අලියගෙ කකුලට දැම්මම ආපහු කස්ගාලා හැරුණ අලි අම්මා එක පනික්කර් කෙනෙක් අලි හොඬයට කොටු කරගත්ත. මේ වගේ වෙලාවකදි වෙන බේතක් නෑ. වෙඩි තියන්ට ඕනමයි. කොච්චර වෙඩි තිබ්බද කියනව නම් පතරොම් ඉවර වෙනකම් වෙඩි තිබ්බත් අලි අම්ම මිනිහ අතහැරියෙ නෑ. බැරිම තැන මන්තරකාරයා මන්තරයක් කළාම අලි අම්මා එතැනම දෙරි ගැහුණා. මන්තරකාරයා මන්තර මතුරන්නේ බැරිම වුණ වෙලාවකදි විතරයි. හැම වෙලේදිම මතුරන මන්තරයෙන් පලක් ගන්ට බෑ. එහෙම පුළුවන් නම් වෙඩි නොතිය මන්තර මතුරලම අලි අල්ලන්ට පුළුවන් නේද. කොහොම වුණත් මෙහෙම අලි අල්ලන්ට ගියාම මැරුණ අලි කොච්චරද කියල කියන්ට බෑ.

ඒ කාලෙදි එරගම පනික්කාර්ල අල්ලපු අලි පැටව් ලොකු ලොකු මහත්තුරු ඇරගෙන ගියා. ඊ.ඇල්. සේනානායක උන්නැහ ළඟ හිටිය රානියි, ලෙච්චමියි දෙන්න එරගම පනික්කාර්ල අල්ලපු අලි පැටව් දෙන්නෙක්. ඒ දවස්වල ගල් ඔයට ඉස්සර වෙලාම කාර් ඇරගෙන ආපු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් මම. වෙල්ලතම්බි වට්ටානෙ පුරාජේරුව ඇදබෑවෙ එහෙම. මම නවසිය පනස් නමේදි විතර කොළඹ පොලිස් වෙන්දේසියෙන් 1 ශ්‍රී 9086 කේම්බි්‍රජ් කාරෙක එරගමට ඇරගෙන ආවා. අම්පාර  රීගල් පියදාස මුදලාලි, සියරට මුදලාලි, හිඟුරාණ ප්‍රේමදාස මුදලාලි, ලෑන්ඩ් ඔපිසර අලවතුගොඩ මහත්තයා වගේ අයට විතරයි කාර් තිබුණේ. අපේ පරම්පරාවේ අය අලි අල්ලපු කඹ, තේඩා, ලණු, සීනු, හෙන්ඩු (තොරටි) වගේ සේරම දේවල් ලංකා බැංකුවේ මැනේජර් ජලීල් මහත්තයා ඇමෙරිකාවේ කෞතුකාගාරයට දෙන්ට කියල අරගෙන ගියා. මෙම දෙපාරක් මක්කම වන්දනාවෙ ගියා. දැන් පුතාලත් එක්ක එරගම පෙට්රල් ෂෙඩ් එක කරනවා. එදා කරපු හපන්කම් මතක් වෙනකොට ඇඟට අමුතු කියන්ට බැරි හයියක් එනවා.


ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම්දෙයි

වැල්ලවත්තේ සැකකටයුතු බයිසිකලයක් පුපුරුවා හැරේ

බෝම්බ පුපුරන්න පැය කීපයකට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට අනතුරු ඇඟවීම් කරලා

කොළඹට ආපු සැකකටයුතු වෑන් රථය පොලීසියෙන් අල්ලයි

ප්‍රශ්නකිරීමෙන් පසු අමල් නිදහස් කෙරේ

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක්

Final අවොත් තෑග්ග ඩොලර් ලක්ෂ 52ක්

රටවල් 10ක සහභාගිත්වය ඇතිව එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කරගනිම

07:35 AM Apr 24 2019

මිතුරන් ප්‍රහාරවලින් මියයද්දී විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

07:21 AM Apr 24 2019

නායක දෝනි හයේ පහර 200ක්

08:04 AM Apr 23 2019

අගමැති මෝදී ඡන්දය පල කරයි

ලොව වැඩිම ජනතාවක් සහභාගි වන මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ

12:04 PM Apr 24 2019

බෝම්බ පුපුරන්න පැය කීපයකට කලිනුත් ඉන්දියාවෙන් ලංකාවට අනතුරු ඇඟවීම් කරලා

10:12 AM Apr 24 2019

ට්‍රම්ප්ගේ සහය ලංකාවට

08:37 AM Apr 23 2019

ආණ්ඩුවේ මට වඩා ආරක්ෂාව ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවනවා

නාමල් කුමාරගේ හඬ පටයට දුන් අවධානමවත් මෙම උවදුර සම්බන්ධව ලබා

05:28 PM Apr 24 2019

ජනපති ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ස්වර්ව පාක්ෂික සමුළුවක්

04:51 PM Apr 24 2019

නිහඬව සිටි බදියුදීන් ප්‍රහාර ගැන කතා කරයි

07:42 AM Apr 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-04-22
CARTOON ::: 2019-04-21
CARTOON ::: 2019-04-19

මහත්වරුනි, ලැජ්ජ නැත්ද?

සේරම රෙදි එක ඇණයේ එල්ලීමට අපි කැමැති නැත. එහෙත් පාස්කු ඉරිදා ස්ථාන හතක පුපුරා ගිය මිනිස් බෝම්බවල වගකීම පැවැරිය යුත්තේ ආණ්ඩුවට මිස අනෙකකුට නොවේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොච්චිකඩේදී විදෙස් මාධ්‍යවේදියකුට පවසා තිබුණේ දිවයිනේ ස්ථාන කිහිපයකට මෙවැනි ප්‍රහාර එල්ල වනු ඇති බවට තොරතුරු වාර්තා වුවද මේ ආකාරයේ බරපතළ ප්‍රහාර මාලාවක් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවය. හේමසිරි ප්‍රනාන්දු මහතා මේ ප්‍රකාශය කළේ රෙදි ඇඳගෙනදැයි කුකුසක් මතු වුවද ප්‍රහාරවල වගකීම ගැන ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වය නම් ඉන් පහව ගියේය. ජනාධිපතිවරයා නිල බලයෙන් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වේ. එනම් සේනාධිනායකයාය.ආරක්ෂක ඇමැති ධුරය දරන්නේද ජනාධිපතිවරයා වන අතර පොලිස් දෙපාර්තමේන්තුව ඇත්තේද එතුමාගේ භාරයේය. එවැනි පසුබිමක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවැරෙන වගකීම සුවිශේෂීය. අන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට නැති සුවිශේෂී වැඩ කොටසක් මේ ලේකම්වරයාට පැවරේ. තෙවැනි ඊළාම් යුද සමයේ ඇරඹෙන  මේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය භූමිකාව පිළිබඳ අවබෝධයකින් යුතුව රාජකාරිය අකුරට ඉටු කළ බව විවාදයකින් තොරව පිළිගත යුතුය. පසු කාලීනව ඔහුට විවිධ චෝදනා එල්ල වුවද යුද ජයග්‍රහණය වෙනුවෙන් කළ කාර්යභාරය පැසසුම් කටයුතු වේ.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකුගේ රාජකාරිය සාමකාමී වාතාවරණයක් තුළ වඩා නිදහස් වුවද ධුරයේ ඇති භාරධූරකම ඉන් අඩු වන්නේ නැත. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා ප්‍රමුඛ බලධාරීන් ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ මේ අනතුරු ඇඟවීම් භාරගෙන ඇත්තේ ඉතා සැහැල්ලුවෙනි. ආරක්ෂක අමාත්‍යාංශයේ මෑත කාලයේ හිටපු ලේකම්වරුන්ටද වගකීමෙන් ඇඟ බේරාගත නොහැකිය.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තවුහීත් ජමාත් නම් අන්තවාදී සංවිධානයට සම්බන්ධ පවුල් හතරක තිස් දෙදෙනකු ධ්ඉධ්ඉ සංවිධානයේ පුහුණුව සඳහා ගොස් ඇති බවත් මෙරට ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවත් 2016 නොවැම්බර් 18 වැනිදා ඇමැති විජයදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී හෙළි කළත් ඒ පිළිබඳ ආරක්‍ෂක බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම ඊට හේතුවය. ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් මැති - ඇමැතිවරු මේ තොරතුරු පදනම් විරහිත බව කියමින් රාජපක්‍ෂ මහතාට චෝදනා කළහ. ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමේදී ද විජයදාස මන්ත්‍රිවරයා ඒ බව සිහිපත් කළේ මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඒ චෝදනා කළ මැති ඇමැතිවරුන් භාරගත යුතු බව පවසමිනි.  ඉන්දීය රජයේ බුද්ධි අංශ ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා රජයට ත්‍රස්ත ප්‍රහාරයන් ගැන අනතුරු අඟවා තිබියදී මෙරට බුද්ධි අංශ වාර්තාවල ද ඒ බව පැහැදිලිව සඳහන් කර තිබියදී ආරක්‍ෂක බලධාරීන්ට “අනතුර” වළක්වා ගැනීමට හෝ පාලනය කර ගැනීමට හෝ නොහැකි වීම බරපතළ කාරණයකි. එකිනෙකාට “බෝලය” පාස් කරමින් වගකීමෙන් ලිස්සා යෑමට කිසිවකුට ඉඩදිය නොහැකිය. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් විපක්‍ෂයේ පිරිස් දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන සමහරක් ඉල්ලා ඇත්තේ 300 කට අධික ජීවිත විනාශ කර 500කට අධික පිරිසකට තුවාල සිදුකළ මේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හා පොලිස්පතිවරයා ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවය. මොවුන් ධුරවලින් අස්වූ පමණින් සිදුවූ විනාශය යථා තත්ත්වයට පත් වන්නේ නැත. එහෙත් බලධාරීන්ගේ වගකීම් විරහිතභාවය ඉන් සංකේතවත් වනු ඇත. ඊළාම් යුද්ධය හේතුවෙන් තිස් වසරක් පුරා ලංකාව දුක් වින්දේය. යළි එවැනි යුද්ධයකට රට ගෙන යෑමට ඉඩ නොදෙන බව අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. විපක්‍ෂ නායකවරයා කියා සිටියේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය විහිළුවට ගත යුතු නැති බවය. “එකම ගලේ දෙවරක් පය හප්පා ගැනීම ගලේ වැරැද්දද පයේ වැරැද්දද යන්න තේරුම් ගැනීම පයට පමණක් නොව සර්වාංගයටම ගුණදායක බව“ පක්‍ෂ විපක්‍ෂ සියලු නායකකාරකාදීන්ට අප අවධාරණය කරමු.
වීඩියෝ